ශිල්පසර


නිසි පහසුකම් නොමැතිකම නිසා ඈත දුෂ්කර ගම්මානවල අපහසුතාවයට පත්ව සිටින අපේම ආදරණීය සහෝදර සහෝදරියන් බොහෝ පිරිසක් වෙනුවෙන්, මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලබන අ.පො.ස. සා/පෙළ සම්මන්ත්‍රණ මාලාව; ශිල්පසර, මෙවරත් දිවයිනම ආවරණය වන පරිදි සිදු කිරීමෙහිලා අප සූදානම්.

මාස හයක් පුරා දිස්ත්‍රික්ක 25 ක මුළුල්ලේ පැවැත්වීමට නියමිත මෙම සත් කර්තව්‍යය සමඟ ඒ ඒ දිස්ත්‍රික්කවල මොරටුව විශ්ව විද්‍යාලයීය අපේම ආදරණීය සහෝදර විද්‍යාර්ථයින් එක් වී සිටිති. මේ වන විට යාපනය, මුලතිව් වැනි දිස්ත්‍රික්ක ද ඇතුළුව බොහෝ දිස්ත්‍රික්කවල තෝරාගත් දුෂ්කර පාසල්වල නැණ පියසක ලෙංගතුකම ආරම්භ වී ඇත. දැනට වැඩසටහන් ක්‍රියාත්මක වූ පාසල් වන්නේ ගම්පහ රද්දොලුව ශ්‍රි ප්‍රඤ්ඤානන්ද ජාතික පාසල, ගාල්ල පිටදෙනිය මහා විද්‍යාලය, නුවර පුපුරැස්ස කනිෂ්ඨ විද්‍යාලය, මන්නාරම ශාන්ත ලුසියා මධ්‍ය මහා විද්‍යාලය, මාතර කඹුරුගමුව විද්‍යාලය, කිලිනොච්චිය ඉයක්කාච්චි විද්‍යාලය, කන්තලේ ගල්මෙටියාව විද්‍යාලය, පුත්තලම මාරවිල පිරිමි කනිෂ්ඨ විද්‍යාලය, වව්නියාව සුන්දරපුරම් සරස්වතී විද්‍යාලය, බදුල්ල ඇල්ල මහා විද්‍යාලය, යාපනය ඉනුවිල් මධ්‍ය මහා විද්‍යාලය සහ කෑගල්ල පුවක්දෙණිය ආදර්ශ විද්‍යාලයයි.

අ.පො.ස. සා/පෙළ යනු බොහෝ පොඩිත්තන්ගේ සිත් සතන්වල බලාපොරොතු රාශියක් එක්රැස් කිරීමට සමත් කඩයිමක්. නගරයේ පාසල්වල  විවිධ වූ පහසුකම් සහිතව අධ්‍යයන කටයුතුවල නියැලෙන සිසු සිසුවියන් වගේම, ඉගෙනීමට අවශ්‍ය අවම පහසුකම්වත් නොමැතිව ධෛර්යයෙන් යුතුව අධ්‍යයන කටයුතු කරන පිරිසකුත් ඒ අතර සිටිති. එවැනි වූ පිරිසක් වෙනුවෙන් කෙරෙන මෙම ව්‍යාපෘතිය බොහෝ දෙනාගේ ආශිර්වාදයට ලක්වෙමින් අති සාර්ථක ලෙස ඉදිරියටත් ක්‍රියාත්මක වනු නොඅනුමානයි. මාස හයක් පුරාවට දිවෙන ශිල්පසර;  නැණ පියසක ලෙංගතුකම සමඟ ඔබත් එක්වන මෙන් ආදරයෙන් ආරාධනා කර සිටිමු.




No comments: