ලියෝ ගමේ අවුරුද්ද

මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්. බක්මහේ ‍රැව්දෙන කොහාගේ නාදෙත් එක්කම එරබදු මලුත් හිනැහෙන්න පටන් අරන්. වෙනදා තිබුනු සංකීර්ණ ජීවිතයෙන් අයින් වෙලා හැමෝම තමන්ගේ නිදහස භුක්ති විඳින්න සැරසෙනවා. ඉතින් ලියෝ අපිත් සුපුරුදු ලෙසින්ම මේවරත් බක්මහේ අසිරිය විඳගත්තේ 'ලියෝ ගමේ අවුරුද්දෙන්'.

මෙවර ලියෝ ගමේ අවුරුද්ද බක් මහේ 24 වෙනිදා පැවැත්වුනේ නාවින්න ජයගත් පාරේ කෙළිමඬලේදී. පිට පිටම වසර ගනණාවක් මොර‍ටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වුනු ලියෝ ගමේ අවුරුද්ද මෙවර පවත්වන්නට නොහැකි වීම ගැන නම් හිතේ පුංචි දුකක් නැතිවාම නෙවෙයි. මේ අවුරුද්දෙ වැඩි බර ඇද්දේ 306 A2 ලියෝවරු සහ සිංහයෝ.

උදෑසන 8.30 ට යෙදී තිබුනු සුභ මොහොතින් කිරි ඉතිරවීමත් සමඟම ලියෝ ගමේ වැඩ කටයුතු ආරම්භ වුනා. දැකුම්කළු රසකැවිලි වලින් පිරී තිබුනු ලියෝ ගමේ කෑම මේසය විවෘත කලේ උළෙලේ ප්‍රධාන අමුත්තා වූ සිංහාධිපති චන්ද්‍රා ක‍ටුවාවල මහතා විසිනුයි. එදින කෑම මේසයේ රස බලන්න කවුරුත් අමතක කලේ නම් නෑ.

ලියෝ ගමේ අවුරුද්දේ ජන ක්‍රීඩා ආරම්භ වුනේ ගම හරහා දිවීමත් සමඟයි. සිනා මුවරදින් බොහෝ දෙනෙක් ගම හරහා දිවීම ආරම්භ කලත් එලෙසින්ම එය අවසන් කරන්නට හැකිවුනේ කිහිප දෙනෙකුට පමණයි. අවුරුද්දේ උදෑසන පැවති ජන ක්‍රීඩා අතර කනා මුට්ටියට ගැසීම, අලියාට අහැ තැබීම, හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාම, බනිස් කෑම, ගෝනි පැනීම, බෝතලයට වතුර පිරවීම වැනි අංග විශේෂ තැනක් ගත්තා. මේ අතර ඇදහැලුනු වරුසාවෙන් පසුබට නොවී එය තමන්ට ආසිරි මල් වරුසාවක් කරගන්නට තරඟකරුවන් වග බලා ගත්තා.

දිවා ආහාරයෙන් පසුත් ජන ක්‍රීඩා කිහිපයක්ම සංවිධානය කර තිබුනා. කොට්ට පොර ගැසීම, කඹ ඇදීම, සංගීත පු‍ටු තරඟය ඒ අතර විශේෂයි. ලියෝ ගමේ අවුරුද්දේ විශේෂිතම හා රසවත්ම අංගය වූ අවුරුදු කුමරා හා කුමරිය තේරීමෙන් පසු ලියෝ ගමේ වැඩ කටයුතු නිමාවට පත්වුනා.