මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය හා හෙළකුරු ආයතනය එක්ව සංවිධානය කළ “තර්ක - මහේෂ් අබේවික්‍රම අනුස්මරණ විවාද හා කථික තරගාවලිය 2026” තෙවන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර් පාඨශාලයීය විවාද හා කථික වේදිකාවක් වූ මෙහිදී දිවයින පුරා පාසල් විවාද කණ්ඩායම් 90කට ආසන්න සංඛ්‍යාවක් සහ කථිකයින් 180කට ආසන්න පිරිසක් එක්ව, තම බුද්ධිය, වාග් කෞශල්‍යය හා නායකත්ව හැකියාවන් විදහා දැක්වීය.
විවාද තරගාවලියේ මූලික වට මාර්ගගතව පැවැත්වූ අතර, අවසන් 16 දෙනාගේ තරග වටයන් මොරටුව විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. අවසන් මහා තරගය වටයන් කැස්බෑව නගර සභා ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස පවත්වන්නට විය. එහිදී කොළඹ රාජකීය විද්‍යාලය ශූරතාවය දිනාගත් අතර, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය අනුශූරතාවය හිමිකර ගත්තේය. හොඳම විවාදකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ සත්මිණු සෙනවිරත්න සම්මානයට පාත්‍ර වූ අතර, ජනප්‍රියතම පාසල් විවාද කණ්ඩායම ලෙස අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ඇගයීමට ලක්විය.
මෙයට සමගාමීව පැවති සමස්ත ලංකා කථික තරගාවලිය ද ශ්‍රී ලාංකේය තරුණ කථිකත්වයේ විශිෂ්ටත්වය විදහා දැක්වූ තරගයක් වූ අතර, අත්දැකීම් බහුල විනිසුරු මඩුල්ලක විනිශ්චය යටතේ තරගාවලියේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවිණි. “තර්ක 2026” යනු තරුණ පරපුරේ බුද්ධිය, කථිකත්වය සහ නායකත්වය එකම වේදිකාවක පිළිඹිබු කළ, අනාගත නායකයින් බිහිකළ සුවිශේෂී බුද්ධිමය පෙළහරක් ලෙස සනිටුහන් විය.
No comments:
Post a Comment