සෙනෙහසේ අවුරුද්ද


කොහෝ නද, එරබදු මල් සුවඳ ගෙනෙන බක්මහේ මිහිරත් රැගෙන පැමිණෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගෙන, සමාජයෙන් වෙන්ව තනිව සිටිනා සමාජයේ නිසි අවධානයට ලික් නොවූ තවත් අපේම පිරිසකගේ මුවඟට සිනහවක් කැන්දන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් දරන ලද අපූරු ප්‍රයත්නයකට සාර්ථකව නිමාව සනිටුහන් කිරීමට ඔවුන් පසුගියදා සමත් විය.

හදින් හදට සෙනෙහස එක් කරන ළමා ලොවේ අවුරුද්ද , "සෙනෙහසේ අවුරුද්ද" නමින් සංවිධානය කෙරුණු මෙම සොඳුරු ව්‍යාපෘතිය පසුගිය අප්‍රේල් මස 18වන දින උදෑසන 9.00 සිට දිවිසරණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී දිගහැරිණ.

එදින මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් අවුරුදු කෑම බීම සහ විවිධ තෑගි බෝග සමඟින් එහි ළඟා වූයේ දිවිසරණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත ඔවුන්ට මතකයේ රැඳෙන, ආදරණීය සිංහල හින්දු අළුත් අවුරුදු දිනයක් ඔවුන්ගේ ජීවිතයට එක් කිරීමේ අරමුණෙනි.


එහිදී සිංහල හින්දු අලුත් අවුරුදු අසිරිය ඔවුන් වෙත සමීප කරන්නට විවිධ අංග කිහිපයක්  ඔවුන් වෙනුවෙන්ම සංවිධානය වූ අතර,  ඔවුන් හට ත්‍යාග ලබා දී සතුටු කිරීමටද අප සමත්  වුනෙමු.


එලෙස එම සොඳුරු මානුෂීය සත්කාරය සාර්ථකව ඉටු කිරීමට අපට සහාය වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර අපගේ මෙම සොඳුරු වෑයම එලෙස සාර්ථකව නිම කිරීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ අසීමිත ප්‍රීතියකි.

No comments: