Freeyo Mind

කොවිඩ්-19 වසංගතය හමුවේ, නිවස තුළටම සීමා වී කල් ගෙවීමට සිදු වීම හා ඒ නිසාවෙන් මාර්ගගත අධ්‍යාපන රටාවට හුරු වීමට සිදු වීම ඇතුළු වෙනත් විවිධාකාර ප්‍රශ්න ගැටලු හේතුවෙන් විශ්ව විද්‍යාලයීය සිසුන් හා මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත සිසුන් ප්‍රමුඛ වත්මන් තරුණ පරපුර තුළ මෙම කාල වකවානුව ඇතුළත මානසික ආතතිය හා ඒ ආශ්‍රිත ගැටලු වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි.


පැවරුම් (Assignments), ප්‍රශ්නාවලි (quizzes) වැනි විවිධ ඇගයුම් විධි සමඟින් තම අධ්‍යයන කටයුතු තුළ හා වෙනත් පෞද්ගලික ගැටලු හේතුවෙන් පීඩාවට පත්ව සිටින තම සහෝදර සහෝදරයින් හට අත්වැලක් වීමට, තම සමාජ වගකීම් හා යුතුකම් හඳුනාගත් පිරිසක් වශයෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින්, "ආතතියෙන් නිදහස් වූ මනසක් කරා..." යන්න තේමා කර ගනිමින් සංවිධානය කෙරුණු "Freeyo Mind" මනෝ විද්‍යාත්මක දේශනය පසුගිය දා අති සාර්ථක ලෙස නිමාවට පත් විය.


මනෝ විද්‍යාව පිළිබඳ ලබා ඇති දැනුමත්, තම ජීවන අත්දැකීම් හා වෘත්තීමය පළපුරුද්දත් සමඟින්, එදින ආරාධිත දේශකයින් ලෙස මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය හා ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක කමල් ජයසේකර මහතා යන අභිමානවත් පෞරුෂයන්, තම ගැටලු වලට සාර්ථකව මුහුණ දෙමින් මානසික ආතතිය දුරලන මඟ කියා දෙමින් තාරුණ්‍යයට අත්වැලක් වීමට, අප සමඟ අත්වැල් බැඳගත්හ. තවද සජීවීව යොමු වූ ගැටලු වලට විසඳුම් ලබා දෙමින්, මෙම වැඩසටහන වඩාත් ඵලදායීව නිමා කිරීමට එම දේශක පෞරුෂයන්ගෙන් අප හට ලැබුනේ නොමඳ සහයෝගයකි.

පසුගිය සැප්තැම්බර් 27වන දින පැවති මෙම වැඩසටහන, වැඩි ප්‍රේක්ෂක පිරිසකට ළඟා වීමට හැකිවන පරිදි, zoom ඔස්සේ මෙන්ම YouTube හරහාද සජීවීව දිග හැරුනේ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් විසින් තම සමාජ යුතුකම නොපිරිහෙලා ඉටු කරමිනි.

දහසකට අධික සජීවී ප්‍රේක්ෂක සහභාගීත්වයෙන්, සුවහසක් වූ පැසසුම් මධ්‍යයේ Freeyo Mind මනෝ විද්‍යාත්මක දේශනයේ නිමාව සනිටුහන් කිරීමට හැකි වීම හා මේ වන විට YouTube නැරඹුම් වාර තුන්දහසේ සීමාව පසුකරමින් නොමඳ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වීමට හැකි වීම පිළිබඳව අප තුළ ඇත්තේ අනතිමානී ප්‍රීතියකි.


 

No comments: