ලියෝ පැදුර

මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කළ “ලියෝ පැදුර 2026” සංගීත සන්ධ්‍යාව, ශ්‍රී ලාංකේය සංගීත සංස්කෘතියේ සුන්දරත්වය රැකගනිමින් 2026 මාර්තු 26 වන දින මොරටුව විශ්ව විද්‍යාලයීය වල ආපනශාලාව අසල එළිමහන් පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්විණි. සඳකැන් පිරි සරසවි පියස මත, මියැසි ස්වරයෙන් හදවත් සනසාලූ මෙම සංගීත රාත්‍රිය සහභාගී වූ සැමට අමතක නොවන අත්දැකීමක් බවට පත් විය.

මොරටු විද්‍යාර්ථීන්ගේ කලාත්මක දක්ෂතා, මිහිරි ගායන හා ආකර්ෂණීය නර්තනාංගයන්ගෙන් හැඩවුණු මෙම සංගීත සන්ධ්‍යාවට විශේෂ ආකර්ෂණයක් එක් කළේ ප්‍රවීණ ගායක ධ්‍යාන් හේවගේ මහතාගේ සජීවී ගීත ගායනයයි. සංගීතය, රිද්මය සහ තරුණ කලාකාමීත්වය එක්වූ මෙම සොඳුරු රාත්‍රිය, පැදුරකට එහා ගිය මියැසි අසපුවක් ලෙස දිදුලන්නට සමත් විය.

“ලියෝ පැදුර 2026” යනු සප්ත ස්වරයේ සැනසුම හරහා සරසවි සිත් සුවපත් කළ, සංස්කෘතික වටිනාකම් සමඟ බැඳුණු සංගීතමය රාත්‍රියක් ලෙස සැමගේ මතකයේ දිගු කලක් රැඳෙනු ඇත.

No comments: