හිතවන්ති

කාලයට ඔබින ලෙස නිරන්තරයෙන් නව සංකල්ප ඔස්සේ වැඩසටහන් දියත් කරන මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කළ තවත් එක් නවමු අත්දැකීමක් "හිතවන්ති" සංගීත සන්ධ්‍යාව ලෙස දිගහැරුණි. විඩාබර ඒකාකාරී දිවි පෙවෙතකට උරුමකම් කියන වත්මන් පරපුරට සැනසුම් සුසුමක් හෙළන්නට ගෙත්තම් කළ ප්‍රේමණීය තනුව ලෙස "හිතවන්ති Live in Concert" සංගීත සන්ධ්‍යාව හැඳින්විය හැකිය.

මෙම සංගීත සන්ධ්‍යාව 2025 ඔක්තෝබර් මස 15 වැනි දින සවස 6.00 සිට මොරටුව විශ්ව විද්‍යාලයීය සුමනදාස එළිමහන් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. සුමුදු හැඟීම් ගී හඬට මුසු කරමින් දිගහැරුණු එම සන්ධ්‍යාව වර්ණ ගන්වන්නට මිහිරි ස්වරයන්ගේ සොඳුරු අයිතිකරුවන් වන තරිඳු දම්සර, පසිඳු ගංගාධර, ගජිඳු ෆොන්සේකා, උවිඳු ඓශ්චර්ය, සියුමිණි ඔපයන්ගි සහ ධ්‍යාන් හේවගේ යන ප්‍රවීණ කලාකරුවන් "හිතවන්ති" සමඟ එක්විය. එම මිහිරි නාදයන් වයලීන තනු වලින් වර්ණවත් කරමින් ප්‍රවීණ වයලීන් වාදන ශිල්පිණි මිතිනි දිසානායක (Violin Girl) සහෝදරිය මෙම සංගීත සන්ධ්‍යාවට නැවුම් අරුතක් එක් කළාය.


මෙම සංගීත සන්ධ්‍යාව සාර්ථක කර ගැනීමට ගෞරවනීය ආයතන බොහොමයක් අප හට අනුගාහකත්වය ලබාදුන් අතර ඔවුන් සියලු දෙනාට අපගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමු. එමෙන්ම තවත් බොහෝ පාර්ශවයන් "හිතවන්ති" සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුණි. 

සුභාවිත සප්ත ස්වර ගැළපුමෙන් විඩාබර සිත් වලට සංගීතයේ ඔසු ගල්වන්නට "හිතවන්ති" සංගීත සන්ධ්‍යාව සමත් විය. සංගීතයෙන් හදවත් සුවපත් කළ මෙම සුවඳැති සන්ධ්‍යාව සහභාගී වූ සියලු දෙනාට ආදරණීය මතකයක් බවට පත් වූ බව නොරහසකි.


No comments: