චක්කරේ

 සීත පිනි බිඳු හමුවේ පූදින්නට මඟ බලා සිටින මල් කැකුළුවලට පිනි පොද වැස්සක් වන්නට ඇත්නම් එය කොතරම් අපූර්වද? වසන්තය මඟ හැරී ගිය මල් කැකුළුවලට සිහිල් පොදක් වන්නට ඇත්නම් එය තවත් අපූර්වය

අකුරු කරන්නට වසත් සමය එනතුරු මඟ බලා සිටි පොඩිත්තො රෑනකට ජීවිතයේ තවත් එක් කඩයිමක් සාර්ථකව ජය ගන්නට අත්වැලක් වෙමින් පසුගියදා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය පියමං තැබූහ. ඇරඹූ ගමනෙහි ගමනාන්තය සනිටුහන් වන්නේ ප්‍රදේශ තුනකදී අපේම නංගිලා මල්ලිලා පිරිසකට මුවට සිනහවක් එක් කරමින් බලාපොරොත්තුවේ මල් පූදිමිනි.

චක්කරේ ලෙසින් දියත් කළ මේ කාර්යයෙහිලා මූලික අරමුණ වූයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නංගිලා මල්ලිලා වෙනුවෙන් ගණිතය විෂය කරුණු ආවරණය වන පරිදි සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමයි. සඳහා තෝරාගත් පාසල් අතරට

ගාල්ල බටේමුල්ල ජාතික පාසල, කෑගල්ල ඉද්දමල්පාන මහා විද්‍යාලය, බදුල්ල වෙළන්හින්න විද්‍යාලය ඇතුළත් විය.

පසුගිය පෙබරවාරි 13 වන දින චක්කරේ ගණිත සම්මන්ත්‍රණ මාලාවේ පළමු අදියර පාසල් තුනෙහිම සාර්ථක ලෙස උදෑසන 8 සිට පැවත්වූ අතර එහි දෙවන අදියර පසුගිය පෙබරවාරි 20 වන දින අයුරින්ම සාර්ථකව දියත් කෙරිණි. සම්මන්ත්‍රණය පුරාවටම සියලු දෙනාගේම සෞඛ්‍යාරක්ෂාව තහවුරු වන අයුරින් කටයුතු කල අතර අවසානයේ බොහෝ සෙයින් සාර්ථක වූ සම්මන්ත්‍රණ මාලාවක නිමාවක් සනිටුහන් කරන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ට හැකියාව ලැබිණි.

සම්මන්ත්‍රණ මාලාවෙහිලා සුවිශේෂත්වය වූයේ මාර්ගගත අධ්‍යාපනයට හසු නොවූ බොහොමයකට දැනුම බෙදන්නට අප ලියෝවරුන්ට අවකාශය උදාවීමයි.එපමණක් නොව අස්වැසිල්ලක් අවශ්‍යම මොහොතකදී අස්වැසිල්ලක් වීමට හැකිවීමද මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය ලැබූ භාග්‍යයක් කොට සලකමු


No comments: