පන්හිඳෙන් ඔබ්බට...!




"වැලි කැට දෙකක් එක සමාන නෑ...
අපේ අත් දෙක උනත් එක සමාන නෑ...
ඒ වෙනස්කම් දකින්න අපි පුරුදු වෙන්න ඕන,
අන්න ඒකට තමයි කියන්නෙ නිරීක්ෂණය කියල..."
- මහාචාර්ය ධම්මික ගංගානත් දිසානායක





දිනය සැප්තැම්බර් මස 17 වෙනිදා.දෛනික වැඩ කටයුතු නිමවී දේශන ශාලා අඩ අඳුරෙ ගිලෙද්දි, විශ්ව විද්‍යාලයීය ජේම්ස් ජෝර්ජ් ශාලාවෙන් නම් දිස්වුනේ දිනයේ වැඩකටයුතු තවමත් අහවර නොවූ බවක්. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දේශන මාලාවේ තවත් එක් පියවරක් ජේම්ස් ජෝර්ජ් ශාලාවෙදි මෙසේ දිගහැරුනෙ හර බර දේශනයකට මග හසර විවර කරමින්.

හැමදාමත් වගේ මෙවන් සංවාද සඳහා යොදාගන්නා ජේම්ස් ජෝර්ජ් ශාලාව මෙදිනත් අතුරු සිදුරු නැතිව පිරී ගියේ කාර්ය බහුල අධ්‍යාපන රටාවෙන් ඉරි තැලීගිය ජීවිත වලට දිය බිඳක් අපේක්ෂා කරන සිය ගණනක්වූ තරුණ තරුණියන්ගෙන්.



මෙවර දේශකයන් ලෙස සහභාගි වුනේ මහාචාර්ය ගංගානාත් දිසානායකයන්. අපි බොහෝ දෙනෙක් එතුමන් විසින් රචනා කරන "පැණි වළලු" ලිපි පෙළ කියවල තිබුනත් එතුමන්ව මුනගැසී තිබුනෙ නැහැ. මේ ගෙවුනු සොඳුරු දෙහෝරාව ඇතුලත මේ ලිපි ඇතුලත සැඟවුනු එතුමන්ගෙ ජීවිත අත්දැකීම් වගේම තවත් බොහෝ දේ අපේ දැනුම පොතට එකතු කරගන්න අපිට හැකිවුනා. මෙවන් හරවත් රසබර දේශනයක නිමාව සනිටුහන් වුනේ අපි සියලු දෙනාගෙම ජීවිත වලට අමතක නොවෙන අත්දැකීම් සමුදායක් එක් කරමින්.


දහසක් වැඩ කටයුතු මධ්‍යයේ තම වටිනා කාලයෙන් මොහොතක් අප වෙනුවෙන් වෙන්කල  මහාචාර්ය ගංගානාත් දිසානායකයන්ට පුංචි සමරු තිළිණයකින් අපගේ ස්තූතිය පළකිරීමට UOM LEOs අපි අමතක කළේ නෑ.






No comments: