Coloring Hopes

ජීවිතයේ පුංචි වයසකදීම ගිලන් බවට පත් වුවත් ඔවුන්ද මල් කැකුළු වන් දරුවෝ වෙති. ගතින් දුබලව සිටින ඔවුන්ගේ පුංචි සිත්වලට සතුටක් ගෙන දීම මහඟු සත්කාරයක් වේ. මහරගම අපේක්ෂා රෝහලේ ළමා ප්‍රතිකාර අංශයේ සිටින අපේම පුංචි සහෝදර සහෝදරියන් වෙනුවෙන් දිගහැරුණු තවත් එක් ලියෝ සත්කාරයකි "Coloring Hopes"

මෙම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ළමා ප්‍රතිකාර අංශයේ දරුවන් වෙනුවෙන් ඇති සෙල්ලම් ගෙදර තීන්ත ආලේප කර ප්‍රතිසංස්කරණය කිරීමත් දෙවන අදියර වශයෙන් ළමා ප්‍රතිකාර අංශයේ උද්‍යානය සකස් කිරීමත්, ජනවාරි මස 9 වන දින රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. මේ සඳහා
විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ සාමජික සාමාජිකාවන්ගේ නොමඳ සහයෝගය ලැබුණි. ව්‍යාපෘතියේ තුන්වන අදියර වශයෙන් සෙල්ලම් ගෙදර ශ්‍රවණාගාරය සඳහා වායුසමීකරණ යන්ත්‍රයක් සවි කිරීම මොරටුව විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ දායකත්වයෙන් ජනවාරි මස 19 වන දින සිදු කෙරිණ.

තවද, මෙහි සිව්වන හෙවත් අවසන් අදියර ලෙසින්, එම මසම 26 වන දින එම ගිලන් වූ පුංචි හදවත් වලට විශ්වීය භාෂාව වූ  සංගීතයෙන් අමතා සනසාලන්නට අපි නැවත වතාවක් රෝහල් පරිශ්‍රයට ගොඩවුනෙමු. මල් කැකුළුවන් දරුවන් සමගින් ගෙවුණු ඒ සොඳුරු නිමේෂය ඔවුන්ගේ හදවත් සතුටින් පුරවාලන්නටත්, අපගේ හදවත් සොවින් බරකරන්නටත් තුඩු දුන්නේ ඔවුන් වෙනුවෙන් අප සතු වූ වගකීම් සමුදාය අපහට නැවතත් සිහි කැඳවමිනි.

No comments: